wfma fjila rpkd
මහමායාවෙනි නුඹ,
වැදුවා නම් සිදුහත් අද...
උයනක සල් ගසක් යට
වට තිර අදිනු වෙනුවට,
අදීවි උන් ෆෝන් එලියට...
සිදුහත් කුමරුනි ඔබ,
අද නික්මුනි නම් ගිහිගෙය...
කාන්තා හිමිකම් NGO නඩ,
යශෝදරා නම විකුණයි යමරෙට...
සුජාතාවන් අද,
පිදුවේ නම් දන් ඔබ හට...
පැපරාසි කැමරා වල,
රැදේවි ඇගෙ සේයාරුව...
බුදු හිමියනේ ඔබ,
බුදු උනේ නම් අද ලොව...
නොඅසාවි උන් ඔබෙ දෙසුම,
පැන පැන යයි මාලිගා බැලුමට...
කොරෝනාවක් අභිමුව,
පමණක් අසන රතන සූත්‍රය...
උණු කැවුම් මෙන් මීඩියා නඩ,
විකුණයි නොයෙක් අයුරෙන...
දැන් දැන් වැටහෙයි මට,
තව්තිසාවේ වැඩ සිට...
කුමට බැලුවේදැයි,
පස්මහ බැලුම් ඔබ...
නිපුනි රත්නායක
වයස - 19
මහමායා බාලිකා විද්‍යාලය මහනුවර
මහනුවර
රටේ පවතින තත්වය සමග වෙසක් අසිරිය
කල්ප ගණනක සිට පෙරුම් පුරා ගිහිගෙයින් නික්මුණු සිද්ධාර්ථයන් දුෂ්කරක්‍රියා කර බුද්ධත්වය ලබා ගත් ඒ උතුම් බුද්ධ පුත්‍රයන්ගේ උත්පත්තිය, බුද්ධත්වය හා පිරිනිවන් පෑම වසරක් පාසා ශ්‍රී ලාංකිකයන් මෙන්ම ලොව්තුරා බුදු දම් පෙරූ දඹදිව බුද්ධගයාවත් උත්සවශ්‍රීයෙන් බබළයි. වෙසක් මාසයේ දී බුදුරදුන්ගේ සම්බුදු ත්‍රිත්වයන් විවිධ සංඥා සලකුණු මගින් පෙන්නුම් කරනු ලබන බව ඔබත් මමත් හොඳින්ම දනිමු.
වෙසක් මාසය හෙවත් මැයි මාසයේ ඕනෑම අයෙක් බොහෝ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව සිදු කරනු ලබන විවිධාකාර ක්‍රියාවන් රාශියක් ඇත. එය මෙය ලියනු ලබන මාත් යොමුකරන ඔබත් මුළු ශ්‍රී ලංකාවාසීන් දනු ඇත. මෙම ගද්‍ය ලියන මාත් මෙය දෙස දෙනෙත් යොමු කරන ඔබත් වෙසක් කූඩුවක් නොසාදා ඇත්නම් එය සැබැවින්ම. පුංචි අයෙකුගේ සිට වයෝවෘද්ධ පුද්ගලයා දක්වා වෙසක් කූඩු, තොරණ් නැරඹීමට සෑදීමට බොහෝ සෙයින් ඇල්මක් දක්වයි.
දශක තුනක මහා කුරිරු යුද්ධයෙන් පසු ගිය වසරේ නොසිතු ඇසිල්ලකින් ශ්‍රී ලංකා කිතුනු ජනතාවගේ ලේ ධාරාවක් ගලා යන්නට සලස්වා අන්තවාදීන් ක්‍රිස්තුන් වහන්සේගේ වියරු ලෙස වද දී ඇණ ගසා මරණයට පත් කිරීම පෙන්වන පුවත පාස්කු දින තවත් ඛේදාන්තයක් බවට පත් කරනු ලැබූහ. තැනින් තැන රුධිර පැල්ලම් පමණක් ඉතිරිව තිබූ බව ඔබගේ සිතට නැගෙනු ඇත. අන්තවාදීන් වෙසක් උත්සව අතරේ ද මෙවන් රුධිර දහරාවන් ගලා යාමට සැලැස්වීමට සිටි බව අනාවරණය වුණි. මෙවන් ඛේදනීය තත්ත්ව මත සියලු වෙසක් උත්සව ඒ ආශ්රිත සැරසිලි දුකින් වුවද අවලංගු කළ බව ඔබට මට අමතක නැත. ඒ ඛේදනීය මතකය කෙමෙන් කෙමෙන් බොඳව යද්දී ඒ අවුරුද්ද අගභාගයේදී කවුරුත් නොසිතූ අයුරින් කල්ප විනාශයක මුලසුන පෙන්නුම් කරමින් මුළු ලොවම කම්පා කරවමින් පුංචිම පුංචි වෛරසයක් වෙළා ගත්තේය. වෛරසයේ කුඩා වුණත් එයින් වුණු විනාශය අතිමහත්ය. එය තවමත් අවසන් කිරීමට කිසිවෙකුටත් නොහැකි වී ඇති මුහුණුවරක මුළු රටටම සිරියාව කැන්දන කොහාගේ කොහෝ කොහෝ නාදය නොඇසුණි. මුළු රටම බක් මහට ඒකරාශි වන මොහොතක මෙවර ඒකරාශී වූයේ පවුලේ සාමාජිකයින් පමණක් බවට ඔබට මතක ඇති. දැන් කොහෝ නාදයද වියහැකි ගොස් වෙසක් සිරිය ද පැමිණ ඇත. ලොව පුරාම පුංචි වෛරසයකින් සියලු දෙනාම අඩපන කර තිබෙන මොහොතක දී වෙසක් සිරිය ද අපට කියාපාන්නේ තැනින් තැන එක්රැස් වී වෙසක් සැමරීම නොව වෙසක් සිරිය පවතින්නේ මෙම වෛරසය වෙලාගත් ක්ෂණයෙන්ම එය වියැකී යාම පැතුමක් කරගනිමිනි. වාර්ෂිකව මුළු රටපුරාම බුද්ධාලම්භන ප්‍රීතියෙන් වෙලා ගත්ත ද මේ වසරේ සමාජ දුරස්ථ භාවයත් සමග වෙසක් සිරිය ගලා යනු ඇත. මෙම වෛරසය අපට ගතින් ලංවී ම සීමා කළ ද වෙසක් අසිරිය හදවත් තුළ ඒකරාශි හැකියාව උදාකර ඇත. අපි මෙම බුද්ධාලම්භන වෙසඟේ ගතින් දුරස්ව හදවතින් එක් වෙමු. මේ මොහොත වනවිටත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන අතර ඇතැමුන් මෙයින් දැඩි වෙහෙසකට පත්ව එය මග හැර දමා යයි. අපි සියලු දෙනා එකාවන්ව එක්ව ප්‍රාර්ථනා කළ යුත්තේ ඔවුන් යෙදෙන සටන ඔවුන් පහසුවෙන්ම ජයගැනීමට හැකි වෙමුයි යන්නයි. මෙය ලියන්නා වූ මා සිතන්නේ උප්පත්තිය ලැබූ වසරේ සිට සැමරුම් කළ සෑම වෙසඟකටම වඩා මෙවර වෙසඟ විශේෂ බවයි. වෙනදාට අපි සියල්ලෝම ගතින් ඉතාමත් ලංවී සිටින අතර මෙවර ගතින් නොව හදවත් තුළ එම බුද්ධාලම්භන ප්‍රීතිය පරිසමාප්ත අර්ථයෙන්ම වඩ වඩාත් නැගෙනු ඇතැයි මම සිතමි.
නිමේෂා වික්‍රමසිංහ
වයස - 21
කඩවත
වෙසක් උත්සවය
බෞද්ධයින්ගේ උත්සව අතරින් ප්‍රධානම උත්සවය වන්නේ වෙසක් උත්සවයයි. වෙසක් උත්සවය සමරනු ලබන්නේ සිදුහත් කුමරුගේ ඉපදීම, බෝසතුන්ගේ බුදුවීම, බෝසතුන්ගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිපත් කිරීමටය.
වෙසක් ආසිරි සැමරීම සඳහා සොබා දහමද විචිත්‍රවත් ලෙස සූදානම් වන අයුරින් ඒ බව මනාව වැටහේ. එනම් ගස් වැල් මලින් හා පලින් බර වී වෙසක් මංගල්‍යයට සැරසේ. තවද සොබාදහම නීල වර්ණයෙන් බබළයි. මිනිස්සු තම නිවෙස් සැමරීම සඳහා වෙසක් කූඩු නිවෙස් වල එල්ලති. විදුලි බුබුළු වැල් නිවෙස් ආලෝකමත් කිරීමට යොදාගනී. සියලුම බෞද්ධයන් තම නිවෙස් තුළ බෞද්ධ කොඩි එල්ලීම සිදු කරයි. මිනිසුන් පහන් දල්වා නිවෙස් ආලෝකමත් කරයි. එමෙන්ම මිනිස්සුන්ගේ දායකත්වයෙන් පවත්වන දන්සල් ආදිය ද දක්නට ලැබේ. මේ ආකාරයේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් උත්සවය දැහැමිව සියල්ලන්ම සමරති.
තිනිති දිමක්ෂි
වයස - 17
බෙල්ලන්විල
අපේ රටේ පවතින තත්ත්වය සමඟ වෙසක් සැමරුම
වෙසක් උත්සවය යනු බොදු දන හට අමුතුම වචනයක් නොවේ. බුදු තෙමගුල සිදුවීම හා විජයාගමනය සිදුවූයේ මෙම පොහොය වන් දිනකදීය. නමුත් අද වනවිට මුළු ලෝකයක් වෙලා සිටින කොරෝනා වෛරසය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය බොදු ජනයාට සැමරීමට සිදුවන්නේ නව පිළිවෙතකට ය.
මීට ඉහතදී ද ලංකාවේ බොදු ජන හට වෙසක් උත්සවය සැමරීම අහිමි වූයේ ත්රස්තවාදීන් විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරය නිසාය. නමුත් මෙවර වෙසක් සැමරුම ඊට අතිශයින් වෙනස් ලෙසින් අහිමි විය. ඒ කුඩා පියවි ඇසට නොපෙනෙන ජීවියෙක් වන කොරෝනා වෛරසය හේතුවෙන් ය.
නමුත් මෙම පින්බර දිවයිනේ සිටින මිහිපිට දෙවිවරුන් වන ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු සියළු රණවිරුවන් ද අපගේ දිවි බේරාගැනීමට සිය දිවි පුදන සුව විරුවන් ද මෙම උද්ගත වූ තත්ත්වය ඉතා සාර්ථක ලෙස පාලනය කිරීමට සමත්ව සිටිති. ඔවුන් අපට පනවා ඇති නීති රීති සතුටින් පිළිගෙන අපි මෙවර වෙසක් උත්සවය සමරමු.
අපට මෙම වෙසක් උත්සවය අමතක නොවන විශේෂ දිනයක් වනු නොඅනුමානය. අපි හැකි තරම් රජය විසින් පනවා ඇති කරුණු වලට අවනත වෙමින් මෙම දිනයට මුහුණ දෙමු. තම නිවසේ සිටම වෙසක් කූඩුවක් තනා පහන් දල්වා වෙසක් උත්සවය සමරමු. අපි මෙවර සැමරුම් දින පැතුම ලෙස "මුළු ලෝකවාසීන්ම වෙලා සිටින රුදුරු වසංගත තත්ත්වය දුරුවී නැවත සුවය සැනසුම උදාවේවා" යනුවෙන් සිහිකරමු.
නෙතුම් බණ්ඩාර
වයස - 12
ආනන්ද විද්‍යාලය
පිලියන්දල
උතුම් වෙසක් සැමරුම හා අද දවස
වෙසක් පෝ දිනේ
එක්ව පන්සල් ගිය දිනේ
පිං රැස් කර විනේ
කූඩු බලමින් අසිරි වින්දේ
උතුම් වෙසක් උත්සවය පවත්වනු ලබන්නේ මැයි මාසයේදී ය. වෙසක් උත්සවය බෞද්ධයන් වන අපට ඉතා වැදගත් උත්සවයකි. එයට හේතුව නම් අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ගේ උතුම් තෙමගුල සිදුවූයේ මෙම වෙසක් පෝය දිනකය. එනම් සිදුහත් කුමරුගේ උප්පැත්තිය, බෝසතාණන් වහන්සේ ගේ බුදු වීම හා බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ පරිනිර්වාණය සිදු වීමයි.
උතුම් වූ මෙම තෙමගුල සැමරීම සදහා අපි නිවසේ සිට වෙසක් කූඩු සාදන්නෙමු. තවද එම වෙසක් කූඩු වෙසක් පෝය දිනයේදී මගේ ගෙමිදුලේ ඇති ගස්වල එල්ලන්නෙමි. මගේ නංගී හා මල්ලී සමඟ බකට්, බලුප් වැල් අප මිදුලේ ඇති ගස්වල එල්ලන්නෙමු. එවිට වෙසක් සද පායමින් අප අවට දහම් ආලෝකයෙන් බබළයි.
කුලාන් හන්සන
වයස - 16
ඩී.එස්.සේනානායක විදුහල
කඩවත
බක් මාසෙත් දන්නෙම නෑ යන්න ගියා
වෙසක් මසත් එළිපත්තට එබී ගියා
කෝවිඩි දහනමය හැමතැන කිදා ගියා
හැම හදකින්ම දුක් ගංගා ගලා ගියා
සිද්ධාර්ථ උත්පත්තිය සිදු වූවා
බුද්ධවත්වය මරු පරදා සිදු වූවා
කුසිනාවෙදි පිරිණිවනය සිදු වූවා
බුදු තෙමගුල වෙසගේදී සිදු වූවා
ලුම්බිණි සල් ගස්වල මල් පිපුණු කළ
කුමරෙක් උපන්නා ලෝකෙම එකළු කළ
බුදු බව ලැබුවෙ බෝරුක මුල හිදින කළ
පන්සාරිස් වසක් බණ දෙසුවා එ කළ
මහල්ලෙක් ලෙඩෙක් මලකද පැවිදි රුව
දැකලා හැරගියා ගිහිගෙය ඔබ එදින
අදටත් පෙරනිමිති හැමතැන පිරී ඇත
කරුමෙක මහත අපි ගෙයහැර යන්නෙ නැත
විසාලාව ගිණි ගත්තා අද විලස
මිනිසුන් මැරී ඇද වැටුනා එකා පිට
වැඩලා එකළ විත් මහසඟ පිරි වරිණ
තුන් බිය නැතිකලා දෙස සූත්‍ර රතණ
කොරෝනා නිසා අද ලොව අසරණ වීලා
දෙවියොත් නැහැනෙ ලග පාතක පේ වීලා
බුදු දෙසූ සත්‍ය මග දැන ජීවත් වීලා
නසමුද කොවිඩ් වෙසඟේ අපි එක් වීලා
දිමුත් ජයවීර
ලේකම්
ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමය
එක්සත් රාජධානිය
රටේ පවතින තත්වය සමග වෙසක් අසිරිය
"ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විශ්වාසා පරමා ඥාතී
නිබ්බානං පරමං සුඛං"
ඉහත සඳහන් වන ගාථාව දේශනා තුළ පරිදි අප මහා බුදුරජානන් වහන්සේ පැවසුවේ නිරෝගී කම උතුම්ම ලාභය ලෙසයි.නමුත් සමාජයේ සිටින අප සියලු දෙනා උතුම් යැයි සිතා දුවගිය ලාභ පසුපස්සේ තිඹුයේ මුදල් පමණි. ඒ නිසාම අප දැනට මුහුණදෙන මුලු ලොවටම මහත් හිංසාවක්,පීඩාවක්,දුකක් ගෙන දෙන මේ covid-19 හෙවත් කොරෝනා වසංගතය හමුවේ අප සියලු දෙනා එළඹෙන වෙසඟ කෙසේ සමරම්ද?
අප මහා මහා බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වය,සිදුහත් කුමාරයාගේ ජන්මය හා බුදුරජාණන් වහන්සේගේ පරිනිවන සිදු වු උතුම් වෙසඟ අපි සමරන්නේ ඒවා සිහි කරනු පිණිසය.සැබවින්ම වෙසඟේ සැබෑ අරුත නම් ආමිස හා ප්‍රතිපත්ති පූජා පවත්වමින් අප මහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය මාර්ගය ඔස්සේ ගමන් කරමින් ධාර්මික දිවි පෙවතක් ගත කිරීමය. පන්සලකට ගොස් මලක්,පහන පත්තු කිරීම.දාන ශීල භාවනා වැඩසටහනකට සම්බන්ධ වීම,දන්සැල් දීම,තොරණ්,වෙසක් සැරසිලි සෑදීම පසුගිය අවුරුදුවල වෙසක් සැමරීමේදී ශ්‍රී ලංකා බෞද්ධ ජනයා කළ කළ කටයුතු කිහිපයකි.
නමුත් රටේ පවතින මේ තත්ත්වය හමුවේ අපට ගියා අවුරුදුවල මෙන්න මේවා මේ වර්ෂයේද ඒ අයුරින්ම වෙසක් උත්සවය සැමරීමට නොහැකි වේ යැයි අපි සැවොම දනිමු.තවද අවුරුද්දට එක්වරක් පමණක් බෞද්ධ ජනතාවට සැමරීමට ඇති වෙසක් උත්සවය අහිමි වීමද කණගාටුවට කරුණක් විම සැබෑවකි.නමුදු අප සියලු දෙනාට නිවෙස් වල සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් වල නිරත විය හැක. තොරණ්,මහා කූඩු ප්‍රදර්ශන,දන්සැල් නොමැති වුවත් නිවසේ සිට පවුලේ සියලු දෙනා එක් වී වෙසක් කූඩුවක් සාදා,පහන් වැටක් සකසා සහ නිවසේ බුදු පහන ඉදිරියේ මේ වෙසඟේ දාන,ශිල,භාවනා වැඩ කටයුතු කර ගැනීමට වැඩකටයුතු කරගැනීමට කිසිදු වැඩ කටයුතු කර ගැනීමට කිසිදු බාධාවක් නොමැත.සැබැවින්ම අප සිතුවොත් වෙසක් අසිරිය අපිට නිවෙසින් පිටතට යාමට නොහැකි වූවා කියා නැති වී නැති වී නොමැත.සැබැවින්ම වෙසඟේ අරුත අරුත වටහා ගත්තෝ නිවසේ සිට ද ඒ ආමිස හා ප්‍රතිපත්ති පූජා පූජා වලට යොමු වන්නාහ.
තවද වර්තමානයේ සෑම අතින්ම දියුණු තාක්ෂණයක් සමඟ ගනුදෙනු කරන අප හට ද, වෙසක් උත්සවය වෙනුවෙන් යමක් කළ හැකිය. ඒ අනුව අපේ රටේ සමාජ ජාලාවන් පරිහරණය කරන බෞද්ධ ජනතාවට,විශේෂයෙන් තරුණ බෞද්ධ ප්‍රජාවට බෞද්ධ ලිපි,බණ කතා කථා ආදිය සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරවා දැනුවත් කළ හැකිය.අපේ ආගමේ අපේ ශාස්තවරයාණන් වහන්සේ ගේ ගුණ සිහි කරන අපේ වෙසක් උත්සවය අපට අහිමි වී ඇති මොහොතක මෙවැනි ක්‍රියාවලින් තරුණ අප උන්වහන්සේගේ ගුණ සිහිකරන්නට බැති සිතින් පෙළ ගැසිය යුතුය.
සැබැවින්ම මෙම වසංගත තත්වය අනුව බුදුන් වහන්සේ දේශනා කරන ලද මේ කරුණු කාරණා නැවත නැවතත් සිතන්නට මිනිසුන් පෙළඹීම නම් මෙම වෙසගේ සිදු වූවූ වැදගත්ම සිදුවීම යැයි මට සිතේ.මුදල් පසු පස හඹා ගිය ඇතැමුන් පරම ලාභය නිරෝගී කමවත්,මුදල් කොතරම් පොදිබැඳ සිටියත් අප සැවොම ලෙඩරෝග වලට ගොදුරු වන බවත්,කරදරකාරී කාලයකදි ප්‍රයෝජනයට ගැනීමට අප උපයා ගන්නා දෙයින් යම් කොටසක් ඉතුරු කළ යුතු බවත්,අන්තිමට සියල්ල අනිත්‍ය බවත් මෙම කොරෝනා වසංගතය හමුවේ බෞද්ධ දිරියනයෙන් අපට ඉගෙන ගත හැකි පාඩම කිහිපයකි.ඉදින් අපේ ශාස්තෘ වරයාණන් වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් වටහාගෙන ආමිස ප්‍රතිපත්ති පූජාවලින් මෙම වෙසඟ සැමරීම මෙම වසංගත තත්ත්වය හමුවේ අප සියල්ලන්ගේම වගකීමකි.එයට එකසේ බැඳී සිටිමු.
හිමාෂා සංදීපනී
වයස - 18
දේවි බාලිකා විද්‍යාලය කොළඹ
පානදුර
රටේ පවතින තත්වය සමග වෙසක් අසිරිය
ක්‍රි.පූ 236 එනම්,දේවානම්පියතිස්ස මහා නිරිදානන්ගේ රාජ්‍ය සමයේදී අප දිවයිනට උතුම් වූ තථාගත ශ්‍රී සද්ධර්මය දායාද විය.ඒ චක්‍රවර්ති අශෝක නිරිදානන්ගේ පුත්‍ර රත්නය වූ මහා මහින්ද මහ රහතන් වහන්සේගේ ආගමනයත් සමගය.එතැන් පටන් අපගේ මේ දිවයින තථාගත ශ්‍රී සද්ධර්මයේ කේන්ද්‍රස්ථානය විය.
තථාගත ශ්‍රී සද්ධර්මය දායාද වීමෙන් පසු බෞද්ධ අප සෑම දෙනාම වෙත ඉතා සුවිශේෂී සංස්කෘතිකාංගයක් උරුම වුනි.ඒ අන් කිසිවක් නොව වෛශාක්‍යය මංගල්‍යයයි.නැතහොත් අප සෑම දෙනාගේම මුවෙහි රැදී ඇති තෙමගුල හෙවත් වෙසක් මංගල්‍යයයි.අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය,සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය යන මංගල්‍යයන් ත්‍රිත්වය ආමිෂ සහ ප්‍රතිපත්ති යන දෙයාකාරයෙන් ඉතා ඉහළින් බෞද්ධ ජනයා මෙන්ම සෙසු ආගමිකයන්ද,සූදානම් වෙනුයේ ඉතා ආශාවෙනි.
නමුත්,ඒ උතුම් මාංගල්යය අතිඋත්කර්ශවත් අයුරින් 2019 වර්ෂයේ දී අපට නොහැකි විය.ඒ තම ආගම වෙනුවෙන් දිවි පිදීම නිසා ස්වර්ගයේදී කන්‍යාවන් 72 කු සමග පහස විදීමට බලාපොරොත්තු වූ අන්තවාදී ආගමික කණ්ඩායමක් විසින් පාස්කු ඉරුදින අහිංසක කතෝලික ජනයා වෙත මෙන්ම සංචාරක හෝටල් ද ඉලක්ක කරගනිමින් සිදුකරන ලද බෝම්බ ප්‍රහාරයක් නිසාය.මෙම සිදුවීම සමස්ත ලෝකවාසී ජනයාගෙම කදුලින් පිරි දෙනෙත අප වෙත යොමුකිරීමට හේතු විය.මෙම ප්‍රහාරයත් සමග බෞද්ධ ජනයාට ශීල සමාදානයන් සදහා මෙන්ම දන්සැල්,තොරණ් හා වෙසක් කලාපයන්ද තහනම් විය.ඒ මහජනයාගේම ආරෂාව සදහාය.
මේ ප්‍රහාරයක් සමග අප බෞද්ධ ජනයාගේ මනසෙහි හටගත් සිතුවිල්ල වූයේ 2020 වර්ෂයේ වෙසක් උත්සවය අන් කවරදිනකටත් වඩා අතිඋත්කර්ශවත් අයුරින් සමරන බවය.නමුත්,එම බලාපොරොත්තු බිද වැටුනේ නව කොටෝනා වෛරසය නිසාය.
නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට සමස්ථ ලෝක ප්‍රජාවම සෞඛ්‍යය හා ආර්ථික අංශයෙන් අතිශයින් බරපතළ අරබුදයකට මුහුන දී ඇති අතර ශ්‍රී ලංකාවද එම ගැටලුවලට මේ වන විට මුහුන දී ඇත.සමාජ දූරස්ථභාවය මෙම වෛරසයෙන් මිදීමට ඇති එකම මාර්ගයයි.
නමුත්, මෙම කොරෝනා වෛරසය අප සෑම දෙනාටම ගුරුවරයෙකු වී ඇත.විශේෂයෙන් තව දින කිහිපයකින් එළඹෙන උතුම් වූ වෙසක් පුන් පොහොය දිනය තථාගත භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාල උතුම් ශ්‍රී සද්ධර්මයට අනුගත වෙමින් නිවසේ සිටම සැමරීමට හැකියාව ලැබී ඇත.
අපගේ බොහොමයක් බාල හා තරුණ ප්‍රජාව වර්ෂයේ සීල සමාදානමය පිංකමට සහභාගී වනුයේ වෙසක් පුන් පොහෝදින පමණි.නමුත්,මෙවර එය විහාරස්ථානයකදී සිදු කිරීමට නොහැකි වී ඇත්තේ රජය අපගේම ආරක්ෂාවට ඇදිරි නීතිය පනවමින් කටයුතු කරන නිසාය.
නමුත්, අපගේ නිවාසය මේ පුන් පොහෝදිනට විහාරස්ථානය බවට පත්කරගත හැකිය.නිවසේදී බුදුන් වන්දනා කරනු ලබන ස්ථානය බුද්ධ මන්දිරය බවට පත් කරගත හැකිය.උදෑසනම අවදි වී පවුලේ සියලුම දෙනා සමගින් එක්වී මනා සේ සැදැහැ සිතින් පිලියෙල කරන ලද බුද්ධ පූජාව අපගේ භාග්‍යවතුන් වහන්සේට පූජාකර උතුම් වූ අෂ්ඨාංග උපෝසථ සීලය නිවසේ සිටම සමාදන් වී ආර්ය මාර්ගයේ ගමන් කිරීමට මේ වන විට අපට අවස්ථාව උදා වී තිබේ.
බුදුරජාණන් වහන්සේ වදාරනු ලැබුවේ ධර්මශ්රවනයද මහත්ඵල ආනිශංස ක්‍රියාවක් බවයි. එබැවින් එළඹෙන මේ උතුම් වූ වෙසක් සතිය ධර්ම ශ්‍රවණය සදහා යොදා ගැනීමටද අපට අවස්ථාව උදාවී තිබේ බෞද්ධයා,ශ්‍රද්ධා,දිදුල, ප්රඣා,මෙන් හා දම්සතර ආදී බෞද්ධ නාලිකා තුල දවසේ සෑම වෙලාවකම දැකගත හැකිවනුයේ දර්ම දේශනාවන් මෙන්ම දර්ම සාකච්ඡා මය වැඩසටහන්ය.මෙබදු උතුම් වැඩසටහන් සදහාද අප අවධානය යොමු කල යුතුය.
අපගේ භාග්‍යවතුන් වහන්සේ හැකි සෑම විටම අවධානය යොමු කරන ලද කාරණාවන් වූයේ දානයයි.දස පුන්‍ය ක්‍රියා,දස රාජ ධර්ම අතර මෙන්ම දස පාරමිතා අතරද දානයට ප්රමුඛස්ථානයකශිමි වී ඇත.නමුත් අප රටේ පවතින අයහපත් තත්වය හමුවේ ඉතා විශාල සාංඝීක දානමය පුන්‍ය කර්මයන්ට සහභාගී වීමට අපට නොහැකි වුවද, නොයෙකුත් ක්රමෝපායන් භාවිතා කරමින් දානමය පුන්‍යකර්මයන් සිදු කල හැකිය.
අප විසින් අවශ්‍ය ප්‍රමාණය ටත් වඩා ජංගම වෙළෙඳසැල් වලින් වියළි ආහාර,එළවලු හා පළතුරු මිලදී ගනු ලබයි. නමුත්, අප ජීවත් වන ප්‍රදේශයේ ම එදාවේල සොයාගැනීමට නොහැකිව තම දරුමල්ලන්ගෙ කුසගින්න නිවා දම්න්නෙ කෙසේද යන ගැටලුවලට මුහුන දෙන මවුවරු හා පියවරු නැතුවාද නොවේ.එබැවින් අප විසින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මිලදී ගන්න වූ වියලි ආහාර, එළවළු හා පළතුරු යොදා ගනිමින් සහනාධාර මලු සකසා එවැනි දුප්පත් ජනයාට ලබාදීමට කටයුතු කරන්නෙ නම් එයද මහත්ඵල මහානිශංස වූ ධානයෙකි.දන්සැල් පවත්වා කිහිප දෙනෙකු සතුටු කරනවාට වඩා එබදු ක්‍රියාවන් සිදු කොට පුන්‍ය සම්භාරයක් රැස් කරගැනීමට අපට ඉඩ සැලසී ඇත.
සාමාන්‍යයෙන් වෙසක් සමය යම්තරමකට අපගේ නිවාසයෙහි කලබලකාරී ස්වභාවයක් ඇති කිරීමට සමත් වේ.ඒ අන් කිසිවක් නිසා නොව කුඩා දරුවන් මෙන්ම පවුලේ සාමාජිකයන් සියල්ලම පාහේ වෙසක් කූඩු සෑදීමට කටයුතු කරන නිසාය.පොත් සාප්පු වෙත ගොස් නොයෙකුත් වර්ණයන්ගෙන් ඇති සව් කඩදාසි මෙන්ම බුදුන් වහන්සේගේ රුව සහිත කඩදාසි දජ මිලදී ගනු ලබයි.බටපතුරු හා ප්ලාස්ටික් වෙසක් කූඩු ගැනීමට සියලු දෙනාම පාහේ කටයුතු කරයි.
නමුත් මෙවර එවැනිදෑ සිදු කිරීමට පවතින අවස්ථා සියල්ලම බිද වැටී ඇත.වෙනදා මෙන් කඩසාප්පුකින් මිලදීගත් වෙසක් කූඩුව වෙනුවට අපටම වෙසක් කූඩුවක් නිර්මාණය කිරීමට අවස්ථාව හිමි වී ඇත. අප විසින් නිර්මාණය කරනු ලබන වෙසක් කූඩුව ඉතා අලංකාර හා රමණීය නිර්මාණයක් නොවීමට පුලුවනි.නමුත් මෙතෙක් කාලයක් සැගවී තිබුනු දක්ෂතාවක් යම්තරමකට හෝ ඉස්මතු කර ගැනීමට හැකියාව ලැබේ.
අප විසින් නිර්මාණය කරනු ලබන වෙසක් කූඩුව විදුලි බුබුලකින් නොව ඉටිපන්දමක් භාවිතා කරමින් ආලෝකවත් කිරීමට හැකිනම් බුදුදහමෙහි පවතින ප්‍රකට දර්මතාවයක් අනිත්‍යතාව පිළිබඳ මනාව අවබෝධ කරගත හැකිවේ.ඒ කෙලෙසදයත් ඉටිපන්දම දැල්ලට හසුවී වෙසක් කූඩුව ගිනිගන්නාවිට අපේ ජීවිතය සදාකාලික නොවන බව අවබෝධ කරගැනීමට උපකාරී වන නිසාය.
තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේට සැබෑ සිංහල බෞද්ධයෙකු ලෙස අපට සිදු කල හැකි උතුම් ම ගෞරවය ලබාදීමට මේ වෙසක් පුන් පොහොය දිනය අපට අවස්ථාව ලබා දී ඇත.බුදුරදුන් දේශනාකොට වදාල සරල හා චාම් දිවිය නොවේද අප මේ ගත කරනු ලබන්නෙ? එය වඩාත් අර්ථසම්පන්න කරගැනීමෙහිලා ඉහත කී අයුරින් වෙසක් සැමරුම් නිවසේ සිටම ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙමින් කටයුතු කල යුතුය.සැබෑ වූ වෙසක් අසිරියක් දැක ගත හැකි වන්නෙ එවිටය.
දෙහාන් විමලරත්න
වයස - 19
මහානාම විද්‍යාලය
රත්මලාන
අනඳ මැදුරට බුදුන් වැඩියා........
පාට පාටට දිලිහෙනා මහ පොලොව දෙව්ලොව වගේ අම්මේ
වෙසක් සිරි දැක බලාගන්නට දෙවිවරුන් මෙහි වඩියි අම්මේ
අපේ දන්සැල යාලුවන්ගෙන් පිරී ඉතිරී යනවා පිම්මේ
ඒ වගේ ලස්සනම වෙසගක් යලිත් කවදා එයිද අම්මේ
පාට පාටට අපේ හදවත් පාට වී දිලිසෙයි ඇගේ
කොරෝනා පලවා හරින්නට දෙවිවරුන් වෙහෙසෙයි මගේ
වටපිටේ සිටි දුප්පතුන්ගේ කුසගින්න නිවනා රගේ
එකට කැටිකොට පුතේ බලපන් ලස්සනයි වෙසගේ අගේ
වසර දෙකකම තොරණ හැඩුවා අපේ හදවත් ඉහිලුවා
පහන් කූඩුව කදුලු සැලුවා අපිත් හිමිහිට පිසලුවා
අනද ඩිජිටල් වෙසග කෙරුණා අපේ හදවත් සැනහුනා
අනද මැදුරට බුදුන් වැඩියා දෙවිවරුන් අද හිනහුනා
රවිඳු රන්දීප
වයස - 15
ගම්පහ
දැන් වෙසක්
තොරණ් කූඩු
නෙක සැරසිලි
බලන්නට
තණ්හා ආසා
සිතෙහී පොදිත් බැඳ
වෙසගකට
වෙස් මුහුණු බැඳි
දෙනෝදහසක් අයවලුන්
මැද
පහන් දැල්ල
අඳුරු විනිවිදි
බුදු කුටියේ
සිල් සුවඳ මැදින්
නිවන් පුරට
පියනගන සිතින්
සිටිති
අයෙක් දෙදෙනෙක්
එස්.ඒ.පෙරේරා
වයස - 20
මහනුවර
රටේ පවතින තත්වය සමග වෙසක් අසිරිය
එක දවසක් මුළු ලෝකෙට
ආවා ඒ විෂබීජය
අන්න එදා ඉදන් අපට
ඇති වුණ මේ අවදානම
එම විෂබීජයෙ නාමෙට
'කොරෝනා' යැයි නම තැබුවට
ඉන් කිසිවක් ඵලක් නැතැයි
මෙය සුව නොවුණොත් සදහට
අවුරුද්දත් ගෙවී ගියා
වටිනා කාලයත් ගියා
නිවාසේ සිට වෙසක් පෝය
සමරන්නට සිද්ධ වුණා
බුදු දහමට ලැදි අපහට
මොන විෂබීජය ආවත්
සැරසිලි කර බුදු තෙමඟුල්
ගෙදරට වී ඉඳිමු අපිත්
මොන බාධක පහල වුණත්
ඉගෙනගන්න පොඩි අප හට
වෙසක් සඳේ පින් බලයෙන්
ලැබේවා පාසල් යන්නට
අත්සර සචිත්මල්
වයස - 12
ආනන්ද විද්‍යාලය
කහතුඩුවේ
වෙසක් සඳේ
වෙසක් සදේ සඳ කිරණේ
සහස් කුමුදු මල් පිබිදේ
ලොව්තුරු ගුණ මහිමේ
පින්බර ලක් දෙරණේ
ජල දහරාවේ සිසිලස පොවනා
මද නළ ඔස්සේ සුවඳක් හමනා
සඳ කැන් අතරේ මෙත් විහිදෙන්නේ
අමා ගුණ දහම් පැතිරේ
තිසා වැවේ වැව් ඉවුරේ
රළ ගසනා දිය අතරේ
ගලා ගලා යයි මද නැලැවිල්ලේ
වෙසක් සඳේ සඳ කිරණේ
බුදු ගුණ මහිමය අපට උරුම කළ වෙසක් දිනේ
කරුණා හදින් දෙසු දහම් හඩ අදත් ඇසේ
මුනිදු සරණ යන්නට සාදු සිතින් පෙළ ගැසෙමු අපි
වෙසක් සදේ සඳ කිරණේ
බිනදී පතිරණගේ
වයස - 15
ගම්පහ