wfma fjila rpkd
නුපුරුදු නොදුටු නිසල බව කිසි දිනක
සැම සිත ගත බෝ තැන එක දිනක
බෝ පත් අතර නැලවුණු සිල් සුවඳ
වෙසක් සිහිල විත් සිතුවම් සිත අතර
පුන් සඳ පායා විත් අහසේ අඳුරු මකා
තොරණ බලන නලා හඬ සසල කළා
දන්සල් පෝළිම් තණ්හා ආසා මැවුවා
නියත දහම වසා වෙසඟේ සිරි බැලුවා
අඳුරු මකා සපැමිණි පුන් සඳ බලලා
මගේ ඔබේ සැම සිත් වෙත මෙත් පතුරා
සිතේ දැවී පව් මවනා කෙලෙස් මකා
බෝ සිත්වල ලෝ දම් ඇති වේ පැතුවා
සුපුන් තාරින්ද එදිරිසූරිය
වයස - 18
ආනන්ද විද්‍යාලය
පානදුර
නිමල පිවිතුරු සැදැහැ සිත් විල
තඹර සියපත් පුබුදනා
රුදුරු විසකුරු පවිටු ගිනිදැල්
නිවා දම්දිය සනහනා
ගොයුම් දිවයුරු මහිම ලෝසත
හදින් පැහැදී සමරනා
මහගු වෙසගට බැතින් හද තුළ
නිහඩ පැතුමන් පිබිදෙනා
තොරණ සැණකෙළි පහන් දන්සල්
නැතත් වටපිට ඉදිවෙලා
මල් සුවද නැති වුවද සැමතැන
සිල් සුවද ඔපවත් වුණා
පන්සලෙන් එන ඝන්ටා නාදෙට
නිවසෙ සිට පිදුමන් දෙනා
පිටින් නොඇසෙන සාධු බැති ගී
සෙමෙන් හද් තුළ රැව්දෙනා
සුහුරු ලෝකය යළි නගන්නට
මිනිස්කම් හිස ඔසවනා
නැගෙන රෝ බිය දුරුව යන්නට
බුදුන් අනුහස පිබිදෙනා
සැමට සුවබල දැයට යහපත
ලොවට සුබ සෙත සලසනා
හෙටක් වෙනුවෙන් වෙසක් දින අද
සැම හදේ එළි දැල්වෙනා
සදෙව්නි නෙත්සිළුනි
වයස - 16
යසෝදරා දේවි බාලිකා විද්‍යාලය
ගම්පහ
අද රටේ තත්වය අනුව වෙසක් උත්සවය
අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරමින් ලෝකවාසී බෞද්ධ ජනතාව අබියසට වෙසක් උත්සවය පැමිණ ඇත්තේ මෙතෙක් සමරන ලද සියලු වෙසක් උත්සවයන් දෙස අනිත්යානුස්සතියෙන් බැලීමට මග හෙළි කරමිනි.
බුදුරදුන් තම ශ්‍රාවකයෙකු වූ වක්කලී හිමියන්ට දේශනා කළේ, "යෝ ධම්මං ඵස්සති, සෝ මං පස්සති" "යමෙක් ධර්මය දකීද, ගෞතම බුදුන් දකී" යනුවෙනි. මෙමගින් වක්කලී හිමියන්ට බුදුරදුන් දේශනා කළේ සැබෑ ලෙස බුදුරදුන් දැකීමට නම් බුදුරදුන්ගේ රූපකාය සියැසින් දැක වත් පිළිවෙත් කිරීම නවතා බුදුරදුන් අවබෝධ කරගත් ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතු බවයි. මිනිසුන් වන අප පැමිණි මේ දිගු ගමන තුල ආපසු හැරී බලන විට පෙනෙන්නේ තෙරක් නොපෙනෙන ආශාවන් පසුපස එකා පසුපස එකා පෙරළාගෙන දිවු අප බුදු තෙමඟුල ද එකී මිනිස් ආශාවන් සංසිඳුවා ගැනීම සඳහාම වැය කළ බවයි.
එහෙත් මෙවර වෙසක් උත්සවය අලුත් ආකාරයෙන් සමරන්නට, අලුතින් සිතන්නට, සැබෑ බුදුබණ සිහිපත් කරන්නට, ව්‍යාජ ලෙස නොව අව්‍යාජ ව අවංක ව බුදු මග යන්නට කොරෝනා වසංගතය අපට උපදෙස් ලබා දී ඇත. නොනිමි ආශාවන් පසුපස දිව ගිය මනුෂ්‍යයන් වන අපි සියවස් ගණනාවක සිට සොබාදහම අපේ ග්‍රහණයට ගෙන ක්‍රියා කළෙමු. එහි ප්‍රතිවිපාක අමු අමුවේ භුක්තිවිදින ලෝවැසි අපි සැවොම අද මුඛවාඩම් පැළැඳ දොරඟුළුලාගෙන හිතාමතාම කැමැත්තෙන්ම නිවාස අඩස්සියේ පසුවෙමු. ගහකොළ සතා සිවුපාවා සිත්සේ කරළියට පැමිණ නිදහසේ හැසිරෙනු පෙනේ. බුදු මඟ යමින් සොබා දහමට අවනතව, ලද දෙයින් සතුටුව පහසුවෙන් පෝෂණය කළ හැකි අයකු සේ, සරලව, අවංකව, සෘජුව, මිනිස් කමින් සියලු සත්වයන්ට සුවසෙත ප්‍රාර්ථනා කරමින් ජීවත් වූවානම් අපට ස්වභාදහම සාප නො කරනු ඇත. එහෙත් අද සියල්ල සිදුවී හමාරය. නමුත් සිතන්නට අපට හිස් මොල ඉතිරි වී ඇත. එසේ නම් මේ බුදු තෙමඟුල සමරන වෙසක් උත්සවය අපි ඵලදායීව සමරමු.
සත්ව ලෝකයේ මිනිසා ද එක් සත්වයෙකු පමණි. සමස්ත ලෝකයේම සියලු සත්ත්වයන් නැටවීමට හැකි මොළයක් මිනිසාට තිබෙන බව සත්‍යය. එහෙත් එය යහපතට මිස අයහපතට යොදා ගැනීමේ ප්‍රතිවිපාක බුදුදහම පෙන්වා දී ඇත. අවාසනාවකට ඒ සියල්ල බෞද්ධයාටද අමතක වූ ආකාරයක් පසුගිය දශක කීපය තුළ දක්නට ලැබුණි.
"ආරෝග්‍යා පරමා ලාභා
සංතුෂ්ඨි පරමං ධනං
විශ්වාසා පරමා ඥාතී
නිබ්බානං පරමං සුඛං"
යන බුදු වදනට අනුව අපගේ පැරැන්නන් හැසිරුණු බව සත්‍යයකි. එහෙත් අප කළේ කුමක්ද? අනේක විධ සාද පවත්වමින් අහිංසක සතුන් අමු අමුවේ මරා උන්ගේ මසින් රසමසවුළු තනා රසවිඳ බෝ නොවන රෝග වැළඳ ගැනීම නොවේද? නිරෝගී කම ගැන අපට වැටහෙන්නේ කොරෝනා පැමිණීමෙන් පසුවද? සතුට පරම ධනය ලෙස බුදුරදුන් දේශනා කළ බව දැන දැනත් කොතෙක් ලැබුණත් ධනය, බලය, නිළය... මේ කිසිවකින් අප සෑහීමකට පත්වී සතුටු වූවා ද? මිනිසුන් ලෙස අපට විශ්වාසවන්ත අයකු සිටියා ද? තම මවුපියන් දූ දරුවන් පවා මුදලට, ධනයට, බලයට, රැල්ලට අවිශ්වාස කර උනුත් මරා දැමුවා මතකය. නිවන පරම සැපය යි මේ වෙසඟේවත් අපි සිතමු ද? තවමත් අප ප්‍රමාද නැත.
"අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනෝ පදං" යන බුදු වදන සිහියට නඟමින් අප ආනන්ද මාතාවගේ ආදර්ශපාඨය පෙරදැරිව මේ වෙසක් මංගල්‍යය අර්ථවත්ව ගත කරන්නට අපි වෙහෙසෙමු. ආමිස පූජාවන් වෙනුවට ප්‍රතිපත්ති පූජාවේ යෙදෙමු. "කායේන වාචානං සමෝදානං සීලං" කය වචනය සංවර කර ගැනීම සීලයයි. මේ වෙසක් මංගල්‍යය තුළදීවත් අපි කය වචනය සංවර කරගෙන කුසල් දහම් වඩවමු. ලොව සියලු සත්වයන්ට මෛත්‍රිය පතුරවමු. මිනිස් වෙස්ගත් අමනුෂ්‍යයන් ලෙස නොව සැබෑ මිනිසුන් ලෙසම මනුෂ්‍යත්වයේ සැබෑ අරුත මතුකර හෙට ලොව දිනන්නට අනාගත පරපුරට ලොවක් ඉතිරි කරමු. අනිත්‍ය දකිමු. යථාර්ථයට මුහුණ දෙමු. සිල්වත්ව, ගුණවත්ව දිවි ගෙවමු. යළිදු සොබාදහමට උරණ වී වසංගතයක් ලෙස පැමිණ අපව සිරගෙයි දමන්නට පෙර සොබාදහමට ආදරය කරමු. බුදු බණ අර්ථවත් කරමු. අවසානයේ සම්බුදු වචනයේ අර්ථයෙන්ම "ධම්මේ භවේ රක්ඛති ධම්මචාරී" ධර්මය ආරක්ෂා කොට ගෙන එහි බලයෙන් අපි රැකෙමු.
ගවේෂ් මිහිසර දයාරත්න
වයස - 14
ආනන්ද විදුහල
කලවාන
වටිනාම වෙසක් මංගල්‍යය මෙවරයි
වසරක දින 365 කි නැතිනම් දින 366 කි. මෙවන් දින විශාල සංඛ්‍යාවකින් බෞද්ධයන්ගේ දින දර්ශකයෙ වැදගත්ම දිනය නම් වෙසක් පුන් පෝ දිනයයි. අප මහා තථාගතයන් වහන්සේගේ උතුම් බුද්ධ චරිතයේ ඉපදීම බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන ත්‍රිවිධ මංගල අවස්ථා සිදු වූයේ අසිරිමත් වෙසක් පුන් සඳ සාක්ෂිකරැ කරමින්ය. වෙසක් පුන් සඳ අහස්කුස ජනාලෝක වත් කරද්දී සිදුහත් බෝසත් කුමරු මෙලොව එළිය දුටුවේ සොබාදම් මාතාව තුළයි. එලෙසම වෙසක් පූර්ණ චන්ද්‍රයා අහස් කුස රජ කල දිනයක දී අප මහ බෝසතුන් ඇසතු බෝ රුක අබියස දහ මරුන් පරදා මාර දූවරු පලවා උත්තරීතර බුද්ධ රාජ්‍යයට පත්වූයේ සොබා මෑණියන් සෙවණේ දී ය. අවසානයේ වෙසක් පුන් සඳ පවා කම්පාවට පත් කරමින් මුළු ලෝ තලයම හඬවා බුද්ධ පරිනිර්වාණය සනිටුහන් වූයේ ද සොබාව ධර්මයේ න්යුනුගතවයි. මේ එළඹෙන්නේ ද එවන් පිවිතුරු වෙසක් සඳ කිරණින් ලොව නැහැවෙන බෞද්ධයන්ගේ වැදගත් සිදුවීම් රාශියක් ස්මරණය කෙරෙන සිත් නිවී සැනසෙන වෙසක් පුන් පෝ දිනයක් නමුත් අද වනවිට ලොව පුරා සියලු සත්වයෝ රෝ බියෙන් ඇලලි වෙළී දුකින් දුකටම පත් වී ඇත. සිත තබා කය වත් නීරෝගීව තබා ගැනීමට අද ඉස්පාසුවක් නොමැත. මා දකිනා මූලික හේතුව කොරෝනා වෛරසය ම නොවේ. අපගේ නොසැලකිල්ලයි.
බුදුරජාණන් වහන්සේ තම ශ්‍රී මුඛයෙන් බුද්ධ ධර්මය දේශනා කළේ ස්වභාධර්මය මූලික කරගනිමිනුයි. කාලානුරූපීව හැල්මේ දිවිමේ තරගයක් මනාව දයාව යහ ගුණදම් අමතක කර යෙදුන ලෝකයා සොබා මාතාව අතු ගා දමා මිනිස් බලය පත් පතුරද්දි ඉතාමත් ඉවසීමෙන් දරා සිටි අවසානයේ සීමාව ඉක්මවා ගොස් මනුෂ්‍ය වර්ගයා මට්ටු කිරීමට එවුයේ දූවිල්ලක් තරම්වත් විශාල නොවූ කොරෝනා නම් ජෛව අවියකි.
කෙසේ වුවත් දැන් හඬා පලක් නොමැත. බනින වී ගිය යහගුණදම් මතක් කර නැවත ජීවය පෙවීමට අපූරු නිහඬ සමයක් දුෂ්කරතා මධ්‍යයේ අපට ලැබී ඇත. යක්ෂයින් වූ බලය හා ධනය යටපත් වී මුළු ලෝකයා සරල කම අගයන්නේ බුදු දහම ඉස්මතු කරමිනුයි. වෛරසයේ ස්වභාව අනුව මිනිසාට ගතින් මීටරයක දුර තබා මොහොතකට දිවිම නතර කර නිවසට වී අනෙකාට සංවේදී වීමට කාලය ලැබී ඇත. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දී පරිසරයටද අතපසු වූ යුතුකම් ඉටු කිරීමට මනුසතා ඉදිරිපත් වී සිටියි .අසරණ මිනිසකු තබා බලු කපුට්කුවත් කුසගින්නේ තැබීමට අපේ මිනිසුන් ඉඩ තබා නැත. අනෙකා සමග ඇති දේ බෙදා හදා ගනිමින් සුව දෙවිවරු සහ රණ දෙවිවරුන්ගේ බසට අවනතව ස්වයං විනය සහ සෞඛ්‍යාරක්ෂිතව කල් ගෙවනා ලාංකිකයන්ට කොරෝනා පැරදීම අපහසු නැත. නිවසටම වී නිවී සැනසිල්ලේ සාමයෙන් වෙසක් සැරසිලි නිර්මාණයට මෙවර අපට වාසනා ලැබුණේ කඩෙන් ගෙනා වෙසක් කූඩු එල්ලූ සමයට තිත තබමිනි. පන්සලේ දීට වඩා නිදහසේ නිවසේ සෑම පත්ව නිවසේ සිටීම දාන-සීල-භාවනා පාරමිතා පුරා ඒ පින් බලයෙන් මුළු ලෝක සත්වයා ම ඉක්මන් නිදුක් නිරෝගී දිගාසිරි පතා ආත්මාර්ථය දුරලා පරාර්ථය නැගී සිටීමට ලැබුණු වටිනාම වෙසක් මංගල්‍ය මෙවර වෙසක් මංගල්‍ය යැයි මගේ මතයයි.
කොරෝනා රෝ බිය දුරු ව යාත්වා!
නියං සා ගිනි දුරුව යත්වා!
බුදු මෙත් කරුණා පැතිර දිලෙත්වා!
මේ වෙසඟේ පින් සිත් පුදිත්වා!
තරණි තිලක්ෂණා පෙරේරා
වයස - 18
ආනන්ද බාලිකා විද්‍යාලය
බණ්ඩාරගම
මේ වෙසගේ පිං සිත් පූදිත්වා
අහෝ බුදු හිමියනි වඩිනු මැන
රෝ බියෙන් ඇලලී ගොසින් සත
එදා විසාලාවේ රුදුරු බිය
වෙලාගෙන ඇත අද ලෝකයම
කාසි අත මිට මෙලවෙනා විට
බිදු බව සත්‍යයි ලෝක දම
ඔබේ බුදු ගුණ සිහිවුණේ නැත
වරද අප අත බව සැබෑමය
ගතින් දුර හිද හිතින් එක්වී
මේ වෙසක් දින අප සියලු දෙන
ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් නිවසට
වෙලා දල්වමු අදුරු මනු සිත
කොරෝනා රෝ බිය දුරුව යත්වා
නියං සාගිණි දුරුව යත්වා
බුදුමෙත් කරුණා පැතිර දිලෙත්වා
මේ වෙසගේ පින් සිත් පූදිත්වා
හිමාල් යසාර
වයස - 15
ආනන්ද විද්‍යාලය
බණ්ඩාරගම
අනඳ පුතුන්ගේ වෙසක් පැතුම
බුදුනගේ පුවතක් මවා පා එළිය කල ඩිජිටල් තොරණ්
පැටව් සමඟින් කැරකි කැරකී කූඩු දස අත ලෙළ දෙමින්
බුදුන් සමයේ කථා වස්තුව කරලියේ නාටක ලෙසින්
එක්ව විඳිනට වෙසක් අසිරිය සැරසුනේ අනඳේ පුතුන්
පවස සාගිනි නිවා ගනු වස් දාන ශාලා මහ ගොඩයි
පුතුන් දස්කම් එකට එක්වී විශ්වකර්මය දුර්මුඛයි
හීනයක් වූ වෙසක් සැමරුම නිරෝධනයෙන් දියව යයි
අනඳ බොදු සංගමයෙ පුතුනගෙ තැවුල් වූ සිත් රිදුම් දෙයි
නොපසු බස්නා වීරියෙන් ඔද වැඩුනු ආනන්දේ පුතුන්
තැබූ පා පිය නැවත ගන්නෙද කවුරු ඔවුනගෙ එඩි බිඳින්
අසිරි විඳ නොසැලී සිටින්නට අනඳ වෙහෙරේ පින් බෙලෙන්
වෙසක් අසිරිය පෙළහරක් ලෙස ලොවට දෙයි සයිබර් මගින්
වෙසක් සඳ අහසට නැඟීලා ලොවම එක ලෙස එළිය වූවා
අනඳ පුතුනගෙ විරිය වැඩිලා වෙසක් පෙළහර උදා වූවා
කොරෝනා බිය තුරන් වීලා සියලු ලොව සත නිදුක් වේවා
අනඳ වෙහෙරේ අසිරි බලයෙන් ලොවේ රෝබිය තුරන් වේවා
නයනා පෙරේරා
වයස 48යි
ආනන්ද බාලිකා (ආදිශිෂ්‍ය)
කොට්ටව
වෙසක් අසිරිය අහිමි වී ඇත
දසත පැතිරුනු බණ කථා මුසු ගීත රාවය නිහඬ වීලා
තොරණ් ඝෝෂා, කූඩු, සැරසිලි නොමැත දස අත අඳුරු වීලා
පවස, සා ගිනි නිවන්නේ නැත ඉදිව නෑ අද දාන ශාලා
පන්සලේ පිරි උවැසියන් නැත බෝ මළුව අද පාළු වීලා
රැයේ කළුවර මකා දමනට සුපුන් සඳ ඇත මෝදු වීලා
සඳේ තනියට තරු කැකුළු නැත ගුවන් ගැබ ඇත පාළු වීලා
ගහ කොළද හැල හොල්මනක් නොමැතිව හිටිවනම ඇත නොසෙල් වීලා
කොරෝනා කල හදිය ලොව වෙත වෙසක් අසිරිය අහිමි වීලා
නයනා පෙරේරා
වයස 48යි
ආනන්ද බාලිකා (ආදිශිෂ්‍ය)
කොට්ටව
බෝ මළුව ඇත නිහඬ වී
දුමින් පිරිලා දසත පැතිරී නොමැත මළුවම සුවඳ වී
අසුන මත පර මලක් පමණයි බුදුන් පාමුල ඉතිරි වී
අඳුර රජකර ඇතේ පන්සල නොමැත පහනෙන් එළිය වී
උවැසියන්ගේ ගුමු ගුමුව නැත බෝ මළුව ඇත නිහඬ වී
වෙසක් දා හිමිදිරියෙ අවදිව සුදු වතින් සැරසී තුටින්
සුදෝ සුදුවන් කොකුන් පේළිය පන්සලේ මළුවේ ඉඳන්
බණත් අසලා සිත් පහන් කර සාධු නද දුන් මහ හඬින්
උවැසියන් හඬ නිහඬ වී ඇත වෙසක් අසිරිය මිය ගිහින්
නයනා පෙරේරා
වයස 48යි
ආනන්ද බාලිකා (ආදිශිෂ්‍ය)
කොට්ටව
පිං කර ගනිමු මේ වෙසගේ දුරින් හිද
මොහදුර වෙලා ගෙන ඇත මුඑ ලෝකයට
රෝ බිය කොරෝන ලෙස අද වෙස් ගෙනය
මනු සත දුකින් දුකටම පත් වි නැසෙන
කාලෙකි ගෙවෙන්නේ බුදු දම මෙනෙහි වන
පෝයට සිල් අරං බෝ සිරිමා වදින්න
කිරි වෙහෙරට පේ වෙලා කිරි පිඩු පුදන්නට
අත්වැල් බැදං සමනල ගිර නගින්නට
බුදු සමිදුනේ අද වාසන නැත අපට
මුඑ ලෝ සතම නිවසට කොටු වි ගෙනය
ආමිස සිතින් සැරසිලි කර නිවස වට
පහනින් මලින් පුද දී බුදු හිමි තුටින
ප්රිතිපත්තියෙන් සිල් රැක ගමු නිවසේ සිටම
සත්යන ක්රිතයාවන්නේ පින් අනුහස් බෙලෙන්
රෝ හැර නැගේවා අප රට මෙන් ලොවම
සැනහි නිවේවා සම්බුද්ධ දම් ගගුල බැස
පින් කර ගනිමු මේ වෙසගේ දුරින් හිද
ගත දුර තබා එක සිත මුල් කර ගෙන සැවොම
ආරක්ෂා වෙමින් පින් කල හොත් වෙසගේ මෙවර
සුව රණ විරුවෝ යතතේ සුවපත් වී විගස
හැකි වේ ඇසළ පෙරහැර වත් සියසින් දකින්නට
තරණි පෙර්රා
වයස - 18
ආනන්ද බාලිකා විද්‍යාලය
බණ්ඩාරගම
වෙසඟාවර්ජනය
පින්බර කුමරු ඉපදී පෙර භාරතයේ
පුර පසළොස් දවස ඔහු ජන්මය ලැබුවේ
මුළු ලෝකයටම සෙත සළසන දැඩි අටියේ
අවසන් උපත කුමරුන් ඒ දින ලැබුවේ
වැඩිකල් නොගොස් තේරුම් ගෙන දුක භවයේ
අත්හල ගියේ ගිහිගෙය ඒ තුරුණු වියේ
සත්‍ය සොයා යන ගමනත් අරඹමිනේ
හෙතෙම අනෝමා තෙර දී පැවිදි වුණේ
බෝසත් තුමා ගෙන අදිටන හිතට තම
බුදු වී මිස නොනැගිටිමි යැයි සිතු හෙතෙම
දස මරසෙන් පරදා ජය ලැබු උතුම
ලොව්තුරු බුදු පදවි ලැබුවා සෙතට සැම
එතෙර කරවන්න ලෝ දන භව කතරින්
බුද්ධ දර්ශනය පතුරා තෙරුන් තුලින්
නොමියෙන හේලි දහමක දේශනා මඟින්
මහා පිරිනිවන් දුටුවා නිති. නොබැවින්
වෙනදා සැමරුවා තෙමඟුල් උත්සවය
සාදා තොරණ් සැරසිලි සැම විසිතුරුය
බොදු බැති ගී කියා සුදුවන් සැරසීය
සැම සිත් මෙදින සැහැල්ලුවෙන් දැහැමීය
මෙදා නැතේ නිදහස් ලෙස සමරන්න
කොවිඩ් මරුවා ඇත මුළු ලොව ගිලගන්න
උත්තම සම්බුදු තෙමඟුළ සමරන්න
බුදු සමිඳේ මුළු ලොව මින් රැකගන්න
දේශාන් රත්නායක
වයස - 15
කොළඹ 15
සම්බුදු ගුණ මහිම
සත් පියුමින් ඉපදී වඩිමින් පෝදා
සිත් මල් පහන් කරවන සම්බුදු සමිදා
දත් බුදු දහම බොදු ජනයා හට පහදා
තෙත් කරවිය වියැලුණු බොදු දහම එදා
සිදුහත් නමි උපතක් ලබමින් මෙලොව
ගුණවත් කුමරෙක් ලෙස හැදෙමින් තනිව
සැපවත් කම් ද හැරදා ගියා පැවිදිව
භගවත් නම් දරා බුදු පදවිය ලැබුව
කදුලැල් පිරුණු සංසාරය නැමති ගගෙන්
හසරැල් නගා ගොඩවන්නට සසර දුකින්
ලොල්වුණු මිනිස් හදවත් සනසවා ලමින්
සිහිලැල් බුදු දහම දෙසුවා නිමල සිතින්
සියපත් මලෙක මල් පෙත්තක සුමුදු බව
නැණවත් බුදු පියාණන්ගේ සිරි පතුල සුව
බෝසත් උතුමාගේ ගෞතම කරුණාව
ලෝ සතුන් හට නිවනට මග වූව
මනු ලෝ තලයේ මෙදා මරු බිය රජ කර වන්නෙමු
බුදු හිමි දෙනු ලෙස සද් ගගුලෙන් පහස ලබමු
අමා දහමේ රස පතුරා මරු බිය සුන් කොට පරදමු
තෙමගුල සිහි කර දම් සිසිලෙන් සැනසී හිමි පා වදිමු
නවෝදා නෙත්මිණී
වයස - 20
කොලොන්නාව
පහන් සැරසිලි විදුලි එළි මත
මෙතෙක් වෙසගේ අසිරියම මිස
බුදුරදුන් දෙසු යථා ධර්මය
දුටුවෙමුද ආමිසය විනිවිද?
පෙර නිමිත්තක් ලද ඇසිල්ලක
නික්මුණිය බෝසතුන් ගිහිගෙය
වෙසක් පුන් පෝ දිනක එදවස
සහස් කෙලෙසින් නැගුණි බෝමැඩ
දැනෙන රෝ බිය මරණ අභියස
අනියතයි හැම, නිමිති දැක දැක
එකදු කෙලෙසින් අත් මිදෙන්නට
පුරමු වෙසගේ උතුම් පිළිවෙත
දිනෙත්මි ෂෙරීනා
වයස - 17
විශාඛා විද්‍යාලය