wfma fjila rpkd
යළි වඩිනු මැනේ බුදුහිමියනි
නිම්මල බුදුරැස් විහිදෙන සඳරැස්
තෙමඟුල සිහිවන වෙසඟේ අනුහස්
හදතුළ නිම්දෙන රාගික අදහස්
තණ්හා රති රඟ ගෙනදෙයි සොම්නස්
පසිඳුර පිනවන මේ භව කතරේ
මොහදුර පිරි සිත කිමිදෙයි අඳුරේ
සසරෙහි බැමිතව සවිවන අතරේ
මිනිසා කොයිබට යන්නෙද නොතෙරේ
සැපයෙහි කම්රස විදිනා මනුහට
පවිටු දනා හට අමරස පෙවුමට
අට දහමින් අවිකම්පිත කෙරුමට
යළි වඩිනු මැනේ බුදුහිමියනි මෙලොවට
රසික පෙරේරා
වයස - 45
පානදුර
රටේ පවතින තත්වය සමග වෙසක් අසිරිය
දෙසූ සදහම් ගගේ උඩු ගංව පිහිනන මිනිසුන් දැක..
නොසිතුනිද අහිතක්..
වෙන්වන්න දෙසූ සදහම් ගොන්න හිස තියන්..
අල්ලගන්න දරන වෙහෙස දැක..
නොදැනුනිද කලකිරීමක්..
වෛර නොකරන්න යැයි පුන පුනා දෙසූ දහම නොඇසුන ගානට...
වෛරයෙන්ම මිනිසා නැසෙද්දී..
නොසිතුනිද එකවරක්වත්..
අත් අරින්න අනුකම්වපාවවත් නොදී...
අඳබාල මිනිස් පරපුර..
බුදුහිමියනේ..
දඩුවම් ලැබුනි අත්පිටම...
බුදුදහමට, සොබාදහමට ගැරහීමේ විපාක වලට..
ඉතින්...
කොරෝණා ලෙසින් සොබාදම් මාතාව දුන් පනිවිඩය සිහි තබගන්නම් මැරෙන තුරුම...
ගෙවන්නම් දිවිය ඔබවහන්සේ කියා දුන් පරිදිම...
ඉපීම,බුදුවීම,පිරිනිවන සිදු වූ පින්බර වෙසගේ නාමයෙන්වත්...
සිහි කරන්නම් අට ලෝ දහම..
දල්වන්නම් පහනක්..
අවදබෝධ කරගන්නම්..
ඔබ වහන්සේ අප වෙත අනුකම්පාවෙන් දෙසූ ඒ සදහම් ...
ගෙවන්නම් දිවිය අනියත බව සිහි තබන්..
ඉල්ලීම නොතරම් උවත් අත් අරින්නට ඉගැන්වූ උතුමෙකුගෙන්...
ඉල්ලන්නම් එක දෙයක්..
මේ මර බිය තුරන් කර දෙනු මැනවි..
අනුකම්පාවෙන් අපව වදාරනු මැනවි...
බුදුහිමියනේ...
යලි වඩිනු මැනවි....
රසංගි දිසානායක
වයස - 22
කැලණිය විශ්වවිද්‍යාලය
කෑගල්ල
පවතින තත්වය සමඟ වෙසක් අසිරිය
කොවුල් නදින් හඬ නැංවෙන
රබන් සුරල් හඬ ගැන්වෙන
අවුරුදු සිරි මෙදා සැරේ අහිමි වුවත්...
පාට පාට රැළි අලවපු...
ආමිසයෙන් හද පුරවපු
ගෙදර වෙසක් සිරි නැහැවුණු...
දිනක් වේද අපි සමරන...
පතමු පැමිණි දෝස විපත්
වෙසඟෙ ආනුභාව බලෙන්...
දුරින් දුරුව යනෙනා මෙන්...
අප රකිනා විශ්ම දෙවියෝ
මනුදම් දැහැනේ විරුවෝ...
පණ මෙන් රැක දෙන මෙන්...
නිම නොවනා සසර චාරිකා
කෙටි වන මං විවරන මෙන්...
අනුෂිකා පෙරේරා
වයස - 23
පානදුර
තිලෝගුරු බුදු සමිඳුනේ
තිලෝගුරු බුදු සමිඳුනේ
ඔබේ පා පියුමන් වඳින්නට
අවසරයි බුදු සමිඳුනේ
විශාලා නුවරක සිරී
දියත සැමතැන පැතිරුණි
ඔබේ දම් කඳ නිබඳ සිහිවේ
පිහිට වනු මැන සමිඳුනි
විහාරය වෙත පිය නගන්නට
පිළිවෙතින් ඔබෙ ගුණ පුදන්නට
ආමිසෙන් පූජා කරන්නට
වරම් අහිමි සමිඳුනේ
වරම් අහිමි සමිඳුනේ
දුසිල් හද මෙත් කරුණෙනි
සිහිල් ජලයෙන් සෝදමී
හද අරම තුළ ඔබේ නාමෙන්
පහන් වැට නිති දල්වමි
සුවඳ කුසුමන් පොබයමි
ඉමේෂ උදයංග
වයස - 19
හෝමාගම
රටේ පවතින තත්වය සමඟ වෙසක් උත්සවය
බුදු තෙමගුල සිදු වූයේ වෙසක් පෝය දා
අටපට්ටම් පහන් එළිය ඇත්තේ වෙසක් දා
කොරෝනාව ආව නිසා මෙවර වෙසක් දා
මෙවරත් බොදු දන සැම හට අහිමි පෝය දා
ආච්චිලා සිල් ගන්නට යන්න හදනවා
නමුත් මෙදින රේඩියෝවෙ පිරිත් අහනවා
වෙසක් තොරණෙ අසිරිය අපි බලන්න යනවා
මෙදා පෝයෙ ඒව කොහෙද ගෙදර ඉන්නවා
ගිය පාරත් සහරාන්ගේ බෝම්බෙ හින්දා
මෙවරත් අනේ නැති වුණානේ කරුමෙද මන්දා
වෙසක් දන්සලත් නෑනේ මෙවර පෝය දා
නිවසට වී පිරිත් අසා ඉන්න වෙසක් දා
නෙතුම් බණ්ඩාර
වයස - 12
ආනන්ද විද්‍යාලය
පිළියන්දල
රටේ පවතින තත්වය සමග වෙසක් අසිරිය
ලෝක වාසී සියලු බෞද්ධයන්ගේ ප්‍රධානතම ආගමික පුජෝත්සවය ලෙස වෙසක් මංගල්‍යය දක්වා ලිය හැකිය. අප මහා ගෞතමයන් වහන්සේගේ තෙමගුල සිහි කරමින් ආමිස හා ප්‍රතිපත්ති මත නියැලෙමින් මෙම වෙසක් පුජෝත්සවය සැමරිමට අප පුරුදු වී සිටි යෙමු
වෙසක් කුඩු නිර්මාණය තොරණ්,අනෙකුත් වෙනසක් සැරසිලි, දන්සල්, වෙසක් නාට්‍ය. භක්ති ගීත වැනි ආමිස පූජා වලින් අප සමාජය සුපෝෂීතය
සිල් සමාදන් විම, බණ භාවනා කිරීම වැනි ප්‍රතිපත්ති පුජා වල නිරත විමද අතීත සමාජය මෙන්ම වර්තමාන සමාජයද අපට දැක ගත හැකි ය
බුද්ධාලම්බන ප්‍රමිතියෙන් ඇලලි යන වෙසක් සමයේ අසිරිය බාල මහලු සැවොම විදගන්නේ ඉතාමත්ම ආසාවෙන්ය.
මෙවරත් වෙසක් සද වෙනදා මෙන් පායයි නමුත් වෙනදා තරම් නිදහසක් අද සමාජයට හිමිවි නැත එය ගතට මෙන්ම බොහෝ වෙලාවට හිතටද පොදුය. මන්ද වසංගත රෝග වෛරසයකට මුළු මහත් ලෝකයම ගොදුරු වී හමාරය
දන්සල්, වෙසක් කුඩු නිර්මාණය, භක්ති ගීත ගායනය වැනි විවිධ ක්‍රියාකාරකම් මගින් එකිනෙකා අතර බැදීමක් එකමුතු කමක් සහයෝගයක් ගොඩ නැගෙන බව අපි සැවොම දන්නා කරුණකි
නමුත් මෙවර පවත්නා තත්වය හමුවේ සම්බන්ධතා දුරස්ථව පවත්වා ගත යුතුව තිබේ.. නමුත් අපට මෙවරද වෙසක් කුඩු වැනි දැ නිර්මාණය කල හැක. හැබැයි හුදෙක්ම පවුලේ සාමාජිකයන් හා පමණක්ය. අනෙකුත් අවුරුදු වලදි වෙළදසැල් වලින් මිලදි ගන්න වෙසක් කුඩු වෙනුවට අපිට අපේම නිර්මාණයක් නිර්මාණය කල හැක. තවද දන්සල් වැනි දැ වෙනුවට ආරක්ෂක උපදෙස් මත ක්‍රියාකරමින් මෙම අවස්ථාවේ අසරණ වි සිටින ජනයාට කුමන හෝ උපකාරයක් අපිට කල හැකිය
එපමණක් නොව ප්‍රතිපත්ති පුජාවන්හි නිරත විමට පන්සල් වලට ම යා යුතු නැත ගෙදර සිටම මෙම සිල් සමාදන් විම බණ භාවනා කිරීම වැනි පුජාවන් හි නිරත විය හැකිය.
අටලෝ දහම චක්‍රයක් සේ නිති පෙරලේ. නොමියන හේළි දහමේ අරුත තේරුම් ගෙන වෙසක් සිරි විදිමු ගෙදර ට වි සිටිමු.
සවිඳු දිල්ෂාර
වයස - 19
ගම්පහ
වෙසක් සද
පැයු ඒ රෑ යම
මතකයි තවම
දැල්වු ඒ පහන් සිළු
බෝ සෙවනේ හිදිමින්......
නුඹත් දල්වන්න
අද.....
මමත් දල්වන්නම්
අද......
අපි ඉමු
දෙකලවරක.....
අවිද්‍යාවේ අදුර දුරලා
විද්‍යාවේ පහන දල්වා
මෙත් වඩමු
සිත් නිවමු
බලා ඉමු
හෙට ගැන
සිහියෙන්......
සවිඳු දිල්ෂාර
වයස - 19
ගම්පහ
ගුණ මුහුදින් ලොව අවදි කලාවූ
සත්හට දුක නැසුමට සරණ්ක්වු
සිත් තුළ දම් වැල් ගී පුබුදාලූ
මුණි තෙමගුල සිරි දන සනසාලූ
පහනක් විය නිති අදුරෙහි දැල්වූ
ගිමනක් විය සැම වෙහෙස නිවාලූ
සමවැදි උතුමන් සිහියේ තබාලූ
මෙත් කරුණා පිනි වර්ෂා ඇතිවූ
රෝ භිය මරු භිය ලෝ වනසාලූ
මොහොතින් මොහොතට මරු දිලෙනාවූ
මෙසමයෙ අනසරණක් අත්නොමවූ
ධර්මය පමණකි සිත් මල් පිබිදූ
සියපත් බලයෙන් අසිපත් නිවුනූ
සියවස් ගනනින් ධර්මය වැඩුනූ
සුවපත් වී සිත් ප්‍රේමය රැදුනූ
වෙසගක් වේවා අදුර නසාලූ
කිසාර රන්දෙනිය
වයස - 18
ශ්‍රී ජයවර්ධනපුර
දසක් මාර සෙන් පරදා
රැසින් රැස් කැලුම් විහිදා
ලොවේ සියලු සත සසරින්
මුදන්නෙමි කියා...
නෙතින් මුත් සිතින් දකිමින්
දෙ අත් නළලතේ තබමින්
උතුම් පුන් පොහෝ දින සිත
කෙළෙස් හැර පියා...
නොයෙක් රෝග බිය හමුවේ
සැණින් සෝ සුසුම් මැදිවේ
එයින් මුදා හැම සුරැකෙනු මැනැ'යි සිත් අයා...
ගතින් දුරින් දුර හිඳිමින්
සිතින් ළං ව පින් පුරමින්
බැතින් පුදමු මේ වෙසඟේ
තිලෝගුරු පියා...
සඳරු සංදීප
වයස - 21
ගම්පහ
නෙක්ඛම්ම නේරන්ජනා ඉවුරේ
පැමිණි මග බෝ දුරය
ඉදිරියේ ගණ අඳුරය
තෙරක් නොපෙනෙන
ඉමක් නොදකින
වංකගිරි අරණ ය
අසිත තවුසා කී ලෙස මම
බුදුව ලෝ වැඩ සලසනා දවස
සිහි වන විට
වංකගිරි මාවතේ විඳි
බොහෝ දුක් වේදනා
මහද තුටු කරන
අයුරු සිහියට නැගෙයි
දැනෙයි සුවයක්
මේ ඉමේ සිට
නේරන්ජනාවේ
දරු සෙනේ ඇදී යයි
දවාලා මහද ගැබ
මරු තුරුලෙ දුක් විඳින
කෙළ ගණන් දූ පුතුන්
මුදන්නට ඒ දුකෙන්
හැර දමා යමි මෙසේ
මව් තුරුලෙ සුව විඳින
මා රහල් පුතණුවන්
නෑසියන් හා පිරිවර
දෙනෙත් පොළොවට බර කර
බලා සිටියද
හැරෙන තුරු මම
නැවත
නේරන්ජනාවෙන්
අඳුරු මග තුළ ඇවිදිනා
ගණඳුරම එළිය සේ රැවටෙනා
කෙළ සුවහස් ගණන්
නෑසියන් හා ලෝ සතුන්
මුදන්නට ඒ දුකෙන්
යමි මෙසේ
එතෙර වී
නේරන්ජනාවෙන්
කාම පටලෙන් දෑස වසාලා
ගිහි ගෙයට කොට මගත බැඳලා
රජෙකු විලසින් චක්‍රවර්තී
මා දකින්නට
පෙරුම් පිරු ඔබ
මහල්ලෙක් ලෙඩෙක් හෝ මළමිනියක්
මගේ දෑසට නොපෙන්වනු පිණිස
දැරූ වෙහෙසේ නිමාවයි මේ
පියාණණි
දරු සොවින් සැමතැනම
වැළපි වැළපී දුක්වෙනා
අපමන වු පියවරුන්
ඒ දුකෙන් මුදවනා
අදිටනින්
මෙසේ හැරයමි ඔබත්
ඔබ ඇවෑමෙන් ලැබෙන
සක්විති රජ සැපත්
මෑණියන්ගේ වියෝවින් මතු
මගේ දිවියේ ගෙවුණු ඇති තතු
ගොයුම් මෑණියනී
ඔබය දැන සිටියේ
සිටියද දෙව් ලොව
සසර සයුරේ සැරිසරා
අන්ත දුක් ගිනි දර දරා
ඇදි ඇදී යන
කෙළ ගණන් වූ මව්වරුන්
මුදා ගන්නට ඒ දුකින්
එතෙර වී සොයා යමි
ලොවේ සත්‍යය
නේරන්ජනාවෙන්
කල්ප සුවහස් ගණන් අත් බැව්
ශිල්ප දුන් ගුරුවරුන්
හැර දමා යමි මේ ලෙසින්
මුදා ලන්නට
කෝටි ගණනක්
සසර දුක් විඳි
ලෝ සතුන්
පෙරට යමි මම මේ ලෙසින්
එතෙර නේරන්ජනාවෙන්
සෙවණැල්ල වී මගේ දිවියට
පහන් ටැඹ වී ඉදිරි ගමනට
සහස් ගණනක් කල්ප පසු කර
මගේ පිය මග
පසුපස ම ආ මා පියාව
ඔබයි මේ ලොව
උතුම් පතිනිය
මවකි ඔබ මට
නැගණිය ව ඔබ
විටෙක මිතුරිය ව
ලෙසින් දාසිය ද නෙක වර
පැමිණි මග දිග
අපමණ වු දුක්
විඳ දරාගෙන
පැමිණි ඔබ අද
තනිව
රැඳෙන විට
මාලිගය ඇතුළේ
අබිනික්මනට නික්මිණිමි
ඔබේ පැතුමෙන්
හද පුරාගෙන
මම
ඉටු කරමි එය
ඔබේ පැතුමන්
අත නොහැර
සසර සයුරේ සැරිසරා යන
ලෝ සතුන්
මුදන්නට ඒ සසර යදැලින්
එතෙරවීලා ගං තෙරෙන්
නේරන්ජනා නම් මංසලින්
නික්ම යන්නට අවසරයි මට
ලොවේ දුක් ගිනි නිවාලන්නට
යසල් සමරජීව
වයස - 20
වත්තල
මා වෙමි යශෝධරා
සසරින් සසරට
ගෙන ආ පැතුමන්
භවයෙන් භවයට
ඒ පෙම් සිතුවම්
සසරින් එතෙරට
යන මේ භවයේ
හමු විය අප
සිදුහත් යශෝධරා වී
ලේන කුලේ සිට
හදුනන නුඹ මා
සසරින් එතෙරට
යන බව දැනුනා
බුදු හිමියන් යළි
වඩින තුරා
කහ වත දරමින්
මා යශෝධරා
මිනිදු පීරිස්
වයස - 21
මොරටුව
කිසා ගෝතමිය නිබ්බුත පද කියන්
යවයි මුතුහර ඡන්න අත සිදුහත්
නොවැළපා දරා සිටි යශෝ පතිවතාවන්
පැතුවේය පසක් කරගන්ට සඳහිමිට නිවන්
වෙසඟින් ඔකඳ සුදු සඳමල් පොකුරු අරන්
අපි පිය නඟමු බුදුහිමි වැඩි මඟම සොයන්
මේ පෝදාත් යන්නට හිතුවත් මල් අත දරන්
යන්නට නොහැකියි කොරෝනා ලෙඩගැන හිතන්
එදා පහන්කූඩු එල්ලී ඇත මහමඟ සරසන්
මෙදා කොරෝනා එල්ලී ඇත හිතගත රවටන්
දැනෙයි කොරෝනා බිය දුටුවිට හැම දනන්
කුමකටද බිය, ඇත්නම් බැති හිත පුරවන්
දාගැබ් බෝධි දිළිසෙයි සඳ එළිය අරන්
සිත නිවාගනිමු පෝදා සඳ එළිය බලන්
පුදමු මල් සමිඳුට කොරෝනා දුරුවන්ට සිතන්
සැනසුම විඳිමු පතමු ගේ බුදුකුටියේ ඉඳන්
මලීෂා කෞෂානී
වයස - 20
කොටහේන